Young leders of srilanka මගින්
1818 මහ කැරැල්ල පිළිබඳ වගතුග!
ඉතිහාසය නවකතාවක් මෙනි. එය ඉතා රසවත්ය. වරෙක හිතට පාලුගතියක් දනවන මහා දුකකින්ද යුක්තය. අපේ රටේ ආධිපත්‍ය පිහිටුවීමට වලි කෑ යුරෝපා ජාතීන් අපේ වීරයන් මරා දැමුවේ අමු අමුවේ රුධිර ධාරා ගලායන්නට සලස්වමින්ය. ඒ අතර පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් ප්‍රධාන තැනක් ගනී.
වර්ෂ 1818 අපේ රටට ඉතාමත් අසුබ කාල පරිච්ඡේදයක් වූ අතර පුරාවෘත්යන්ට අනුව පිට පිට ග්‍රහමාරුවීම්, චන්ද්‍ර හා සූර්ය ග්‍රහණ එසේම වල්ගාතරු පෑයීම ඉතා අසුබ සිදුවීම්ය. මේ යුගයේද ඒවා එසේ සිදුවූ බව කියෑවෙන අතර රටේ සිටි නායක කාරකාදීන්ටද මහත් ව්‍යසන ගෙන දුනි. 1815 වන විට අපේ සිංහල රජතුමාද ඉංග්‍රීසීන්ගේ සිරකරුවෙකි. ඒ වනවිට ඉංග්‍රීසීන්ගේ ග්රහණයෙන් තරමක් මිදුන ඈත පිටිසර පිහිටි ඌව වෙල්ලස්ස රුහුණ ආදී ප්‍රදේශවල හැංඟී සිටි වීර සිංහල රණවිරුවන් තම රට හා ජාතිය වෙනුවෙන් සටන් වැදුනි. සිංහලයේ රදළවරුන්ගේද කැමැත්ත ඇතිව ඉංග්‍රීසීන්ට භාරදුන් සිංහල රාජ්‍යය වසරක්වත් ඉක්ම යැමට මත්තෙන් යළිත් සිංහල විරෝධය දසතින් ගලා එන්නට පටන්ගති.
යම් යම් කෙනෙහිලිකම් නිසා උඩරැටියන් අතරත් ඉංග්‍රීසීන් අතරත් මෙම විරසකය අරගලයක් බවට පරිවර්තනය වීමට වැඩි කාලයක් ගත නොවුනි. මේ අරලයට තවත් එක් හේතුවක් වූයේ වෙල්ලස්ස ප්‍රදේශයට මුස්ලිම් ජාතික මුහන්දිරම් කෙනකු පත් කිරීමයි. මේ නිසා සිංහල දිසාවේ වරයාගේ තනතුර බාල්දු වීමක් සිදුවූ බවට තර්කයක් ඇති වුණි. 1817 වර්ෂයේ මාර්තු අප්‍රේල් කාලවල ඌව ප්‍රදේශයේ රාජ්‍ය අනුප්‍රාප්තිකයකු වෙසෙන බවට ලැබුණ ඔත්තුවකට අනුව ඔහු අල්ලා ගැනීම පිණිස එහි ගිය ඉංග්‍රීසි උප ඒජන්තවරයකු වූ 'සිල්වෙස්ටර් විල්සන්' හා මුස්ලිම් මුහන්දිරම් 'හඡ්ජි මරික්කාර්' ඇතුළු කීපදෙනෙක් සිංහල කැරලිකරුවන් අතින් මැරුම් කෑ අතර මීට කෝප වූ ඉංග්‍රීසි පාලන අධිකාරිය ඔවුන් අල්ලා ගැනීමට යුහුසුළු විය. මෙම තත්ත්වය සමනය කිරීම සඳහා යවන ලද ඉංග්‍රීසි බල ඇණිය කළේ හතර අතේ වෙඩි තබා සිංහලයන් ඝාතනය කිරීමයි. මේ නිසා බලවත් ලෙස කුපිත වූ සිංහලයන්ද ප්‍රති ප්‍රහාර එල්ල කරන්නට විය.
සිංහලයන්ටද කඩු හෙල්ල මෙන්ම තුවක්කුද තිබිණි. එදා එහි ගිය ඉංග්‍රීසි හේවා කණ්ඩායම හා ඇරඹි සටන පසුව මුළු රට පුරාම ව්‍යාප්ත වන්නට පටන් ගති. කැරැල්ල මැŽමට ගිය කැප්පිටිපොළ දිසාවද සිංහලයන් සමඟ එක්වී සුද්දන්ට එරෙහිව සටන පටන් ගති. මේ අතර රජකමට පත්වූ තාවකාලික රජෙක් කැප්පිටිපොළ මහාධිකාරම් ධුරයට පත්කළ බව නිවේදනය කරන ලද අතර සටන දිගටම සිදු කෙරුණි.
තුන්කෝරළය, හතර කෝරළය, උඩුනුවර හා සබරගමුවේ සීමිත ප්‍රදේශයක මෙම කැරළි හට නොගත් අතර උඩරට අනෙක් හැමතැනකම වාගේ මෙම ඉංග්‍රීසි විරෝධී සටන ඇතිවිණි. ඉතාමත් බරපතල ලෙස ඇතිවූ මෙම කැරැල්ල මැඬලීම සඳහා ඉංග්‍රීසීන් 1818 පෙබරවාරි මාසයේ දී "මාර්ෂල් ලෝ" හෙවත් යුද්ධ නීතිය පනවන ලද අතර සටන්කාමීන් අල්ලා ගැනීම සඳහා රහස්ඔත්තු සේවාවන්ද පටන් ගන්නා ලදී.
කඳු උඩ හා ගිරිදුර්ගවල නැගගත් අපේ සිංහල වීරයන් සුදු ජාතිකයන්ට මහත් ව්‍යසනයක් ඇති කළ අතර එම ගරිල්ලා සටන්වලට මුහුණදීමට ඉංග්‍රීසීන්ට අපහසු විය. මේ නිසා ඉංග්‍රීසීන් කළේ අපේ වීරයන් මරා දැමීමත් නිවාස දේපළ ගිනිලෑමත්ය. මේ සඳහා ඔවුන් යොදාගත්තේ කුලී හමුදාවන්ය.
උඩරට ප්‍රදේශවල ආහාර හිඟයක් ඇති කිරීම සඳහා ඔවුන් සිදුකළ මේ විනාශය කොතෙක් දැයි කිවහොත් බත සපුරන වී අමුණු විශාල තොගයක් ගිනි දමා විනාශ කරන ලදී. පැසී බරවුණ කෙත්වතු වලට ගිනි දැමූ ඔවුන් සිංහලයන්ගේ නිවාසද ගිනි තැබූ අතර අසුවන සියලු දේ විනාශ කළේය. ඉන් නොනැවතුන ඉංග්‍රීසීන් සිංහල තරුණයන් වෙඩිතබා මරා දැමුවේ යමපල්ලන් ලෙසින් බැව් පුරාවෘතවල සඳහන්ය. 1818 පෙබරවාරියේ පැනවූ මාර්ෂල් ලෝ නීතිය මගින් අති විශාල පිරිසක් දඩයම් කරන ලද අතර සමහර තරුණ පිරිස් කැලෑවැදී සටන් කළෝය. මොල්ලිගොඩ වැනි පාවාදෙන්නන් නිසා එම ගරිල්ලා සටන හෙවත් පළමු නිදහස් සටන ඉංග්‍රීසීන්ට ජය ගැනීමට හැකි විය.
අල්ලාගත් "මඩුගල්ලේ" හා "කැප්පෙටිපොළ" යන විරුවන් දෙදෙනාගේ හිස් ගසා මරාදමන ලද්දේ මහජනයාට දැක ගැනීමට සලස්වමිනි. ඒ ජනතාව බිය වැද්දවීමටයි. මේ සියලු ක්‍රියාකාරකම් සිදුකළ ඉංග්‍රීසීන් ඒ යුගයේ හැසිරුණේ පල්හොරුන් ලෙස කීවොත් එය සාධාරණය. එසේ කියන්නේ ඔවුන් සිංහලයන්ගේ ගම් බිම් කොල්ල කෑ නිසාය.
අද මොන බණකීවත් එදා ඔවුන් හැසිරුණේ ඒ අයුරින්ය. 1818 කැරැල්ල ජයගත් පසු ඔවුන් ප්‍රකාශයක් නිකුත් කරන ලද අතර එය සිදු කළේ නොවැම්බර් 21 වන දිනදීය. මෙම ප්රකාශනය පරිදි උඩරට රදළ නිලධාරීන්ට මහජන දැකුම් හා පඬුරු ලබාගැනීම තහනම් විය. උඩරට රදළයන් රජයේ නිලධාරීන් බවට පත්කළ අතර ඒ සඳහා මාසික වේතනයක් ගෙවන ලදී. පහළ නිලධාරීන් පත්කිරීමේ බලයද අහෝසි කළ ඉංග්‍රීසි පාලකයන් සුළුමුලාදැනීන් පත්කිරීමද සිදු කරන ලදී.
මේ සියලු කටයුතු අතර ඔවුන් කළ ප්‍රධාන දෙය නම් පාලන කාර්යයේ සියලු ප්‍රධාන තනතුරු ඉංග්‍රීසීන් අතට ගැනීමයි. එසේ කරමින් ඒජන්තවරුන් පත්කිරීම ආරම්භ කරන ලදී. සියලු පාලන බලය හා අධිකරණ බලය රාශි වී තිබුණේ ආණ්ඩුකරු වෙතය. ඔහු එංගලන්තයේ කිරීටයේ බලය ලත් නියෝජිතයා විය. මොන තරම් පාලන ව්යqහයේ වෙනස්කම් ඇති කළද ඉංග්‍රීසීන් හා සිංහලයන් අතර සුහද බවක් නොවුනි. ඒ බ්රවුන්රිග්ගේ ක්‍රියා කලාපයේ තිබූ සැහැසි බව නිසාය. මේ බැව් තේරුම් ගත් පෙරදිග පාලන අධිකාරිය බ්රවුන්රිග් වෙනුවට 1824 දී මෙහි ආණ්ඩුකාර ලෙසින් පත්කර එවන ලද්දේ "එඩ්වඩ් බාන්ස්" ආණ්ඩුකරුය. ඔහු ජනතා සිත්සතන් තැන්පත් බවට හරවමින් රට දියුණු කිරීම උදෙසා නව මාර්ග පද්ධති ඉදිකිරීමේ පියවරට අත ගැසීය. සුදු අධිරාජ්‍ය පාලකයන් බොහෝවිට අපේ රටේ පාලන තනතුරු සඳහා පත්කර එවන ලද්දේ යුද හමුදා නිලධාරීන්ය. එයට හේතුව නම් මෙහි මිලිටරි පාලනයට සමාන පාලනයක් ඇති කිරීමයි. එවක සිටි රජයේ උසස් නිලධාරීන් බොහොමයක් හමුදා නිලධාරීහු වූහ.
1818 මහා ජාතික නිදහස් අරගලය වෙනුවෙන් දිවිපිදූ තරුණ සටන්කාමීන්ගේ රුධිරයේ සටහන් අදත් ඌව වෙල්ලස්ස ප්‍රදේශවල ඇඳී නැතැයි කාටනම් කිව හැකිද තම රට වෙනුවෙන් එදා දිවිදුන්නේ තරුණයන් පමණක් නොවේ. ඔවුන් රට වෙනුවෙන් දිවි දුන්නේ පවුල් පිටින්ය. එම කුරිරු සටහන නිකුත් කළ නොවැම්බර් මාසය අපේ රටේ සාමාන්‍ය විදියේ මාසයක් නොව අපට ශාපය ගෙනදුන් මාසයකි. ඒ නිසා නොවැම්බර් 21 දින අපට විලංගු වැටුන දවසක් ලෙසින් සැලකීම සුදුසුය. මන්ද? ඉංග්‍රීසීන් අපේ අතට යදම් දමා විලංගු ලා කටට ඉබියතුරු සවිකළ දිනය එදා වන නිසාය. මේ සියලු දෙයට මුල් වූයේ අපේ ජාතියේ ඇති අසමගි තාවයි·
පාදක සටහන් - (සිංහලයේ නිදහස් සටන් ලිපි ආශ්රයෙනි
Comments
Post a Comment